ලංකා කවය

“අපි ඇඩිලේඩ් කෙල්ල, තිලකා පීරිස්ට කතා කරමුද?” එයා අපි කොන්ටැක්ට් කරලා දවස් කීපයක්…”

තිලකා පීරිස්ට ටෙලිෆෝන් එකෙන් කතා කරන්න ඉස්සර මොන මොන අදහස් බෙදාහදා ගන්නද කියලා තීරණයක් ගන්න අවශ්ය වෙයි කියලා අපි හිතුවා. අපේ ‘මවු රටක් නැති’ ප්රශ්නය එක වගේ වුනත් එයා අපට වඩා බොහොම වෙනස් වෙන්න ඉඩ ඇතිබව අපි දෙන්නටම වැටහුනා.

“තිලකා පීරිස්…. තවම වයස විසි දෙකක් වුනත් මටත් ඉස්සර ඔස්ට්රේලියාවට ඇවිත් තියෙන්නේ. අවුරුදු දෙකක් මෙහෙ ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා තමා යුනිවසිටි ගිහින් තියෙන්නේ… කිව්වෙ නැතුවට සල්ලි කාරයෝ වගේ - මෙහෙ ඉස්කෝලෙකට ආවනම්…”

”එහෙම කෙනෙකුට තවත් අමාරු ඇති - ආයෙ ගෙදරින් සල්ලි නැති නිසා… මෙහෙ ඉස්කෝලේ ආවනම් කවුරු හරි නෑදෑයෝ මෙහෙ හිටියද දන්නෙ නෑ…”

“ඒක ඇත්ත. හැබැයි ඒ වගේ ප්රශ්න අහනකොට ටිකක් පරෙස්සම් වෙන්න ඕන… හිත රිදෙන්න ඉඩ තියෙනවා”

“… මම හිතුවේ… අපි ඇහුවත් නැතත් හිත රිදෙනවා… ඒ නිසා ඒ වගේ ප්රශ්නත් අපි මුළදිම අහන්න ඕන… ඇත්තටම නීලා… කෙල්ල අපි අහන්නත් ඉස්සර කියයි, වෙන කතා කරන්න කෙනෙක් නැති නිසා…”

අපි දෙන්නම සද්ද නැතුව ටිකක් කල්පනා කරා. ‘කතා කරන්න කෙනෙක් නෑ’ කියන්න බෑ - ‘ලංකාව ගැන කතා කරන්න කෙනෙක් නෑ’ තමා හරි.

ගිය සෙනසුරාදා මට නීලා හමු නොවුනානම් මම කතා කරන්නේ කවුරු එක්කද? සමහරවිට මයිකල් එක්ක… සරසවි දැන්වීම් පුවරුවල දැන්වීම් නොදැමුවානම්? … තනියම මම මොකද කරන්නේ? නවාතැනක් කොහෙන් සොයා ගන්නද? ඉඳලා හිටලා වත් සිංහලෙන් කතා කරන්නේ කා එක්කද? නීලත් මේ වගේ දේ හිතන නිසා වෙන්න ඇති සද්දයක් නැත්තේ.

“මං හිතුවේ… අර අපි දෙන්නා කරා වගේ අපෙ මූලික තොරතුරු කියලා බලමු එයා මොකද කියන්නේ කියලා… අර… මම ලලිත් මීගස්තැන්න, වයස 29යි, ගම ගලගෙදර… අන්න ඒ වගේ. එයා දෙන උත්තරේ හැටියට ඊලඟ මාතෘකා තෝරගමු…”

“හ්ම්… හැබැයි ඊලඟ මාතෘකා ලෑස්ති කරගෙන ඉන්න වටිනවා නේද?”

“අපොයි ඔවු… මනෝවිද්යාවෙන් බලලා නීලා මොනවා හිතනවද මම දන්නෙ නෑ… නමුත් ඉස්සර වෙලාම අහන්න ඕනෑ කරදර තියෙනවද, උදව් ඕනද වගේ ලඟම තියෙන අවශ්යතා - ඉමීඩියට් නීඩ්ස්. ඊට පස්සේ තමා අනික් දේ ගැන අහන්න බලන්නේ… එහෙම කමක් නැද්ද?”

නීලා ටිකක් හිතලා බැලුවා.

“ලලිත්ගෙ අදහස හොඳයි… නමුත් මට හිතෙන්නේ තිලකට තියෙන ලොකුම ප්රශ්නේ කතාවට සම්පූර්ණෙන්ම විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් සොයාගැනීම… මාව මුනගැහෙන්න ඉස්සර ඔයාට කවුරුහරි ටෙලිෆෝන් කරානම්… කතා කරන එක්කෙනා වහාම විශ්වාස කරනවද?”

“නීලා කියන්නේ අපි දෙන්නා එයාගෙ කිට්ටු යාළුවෝ වෙන්නද?”

“… ඒක බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි… ඒක එයාගෙ කැමැත්තක්… අනික් අතට අපි මේ කතා කරන්නේ හරියට මේ සේරම එක කෝල් එකකින් ඉවරයි කියලා වගේ!... අපි කතා කරලා බලමු… දැන් නම් වෙලා ගියා වැඩී - දහයත් පහුවෙලා”

“හ්ම්… මටත් හෙට උදේ නැගිටලා ගෙදරට ඕන බඩු ගොඩාක් ගන්න තියෙනවා … වයින් බෝතලේකුත් එක්ක! එහෙනං හෙට රෑ කෝල් කරමුද? හතට විතර?”

එදා රෑ නිදාගන්න ඉස්සර ආ අන්තිම සිතුවිල්ල කනගාටුදායකයි - මේ අළුතෙන් සරණාගතයෙක් හමුවී ‘විශාලවෙන’ ලෝකේ අම්මයි, නංගියි මල්ලියි නෑ.

……………………………

“දැන්වත් ඇහැරලාද?”

මා සමග පාවෙමින් තිබුන සුදු වලාකුළ වහාම දියවී ගියා. දොර තිරේ අතරින් කාමරේ ඇතුලට එබුන නංගිගෙ මුහුණේ තිබුනේ ලොකු හිනාවක්. අතේ තේ කෝප්පයක්. මම යන්තම් හිනාවුනේ නිදිමතේ.

“කීයද වෙලාව?”

“නවයත් පහුවෙලා! මම කීප සැරයක් ඇවිත් බැලුවා - කොහෙද ඉතින්, ලී කොටයක් වගේ. හෙල්ලුනේ නෑ”

“සොරී… තවම මහංසී අප්පා. අම්මා වැඩට ගියාද?”

“නෑ… මල්ලිත් එක්ක නුවර ගියා බඩු වගයක් ගන්ට. දොලහ විතර වෙනකොට එනවා කිව්වා. ආයෙ සඳුදා තමා වැඩ. මල්ලී අර ඉල්ලගෙන ආපු කාරෙක නුවර කාටදෝ දෙන්ට කියලා ගියා, අම්මත් එක්කම. දෙන්නා එකට එයි, බඩුත් අරගෙන… මෙන්න තේ එක”

“මං එනවා ටක් ගාලා… එලියේ සාලේ ඉඳන් බොමු”

නංගිත් එක්ක ඉස්තෝප්පුවේ වාඩිවෙලා තේ බීම හිතටයි ගතටයි බෙහෙතක් වගේ. ඒ වෙලාවේ මට දැනුනේ එහෙමයි. අවුරුදු හතරක් කල් මම උදේට මොකවත් ගිලලා සරසවි ගියේ අවට ලෝකයක් ගැන නොදන්න වයින් කරපු බෝනික්කෙක් වගේ. හිතේ වැඩිපුරම තිබුනේ දවසේ වැඩ කටයුතු ගැන මිස අවට පරිසරයවත් නෑදෑ මිතුරෝ ගැනවත් නෙවෙයි. හිතෙන් ‘දවසේ වැඩ කටයුතු’ නැමැති බහුතරය ඉවත්වීමත් එක්කම ලඟම ඇති පිරිසත් පරිසරයත් ඒ හිඩස කිසිම අඩුවක් නැතුව පුරවනවා.

මට දැනුනා මගේ හිත සම්පූර්ණෙන්ම පිරිලා වගේ.

“ඉතින් කෙල්ල… කොහොමද ජීවිතේ?... ඔන්න ‘ඔහෙ ඉන්නවා’ කියන්න තහනම්!”

නංගී හිනාවුනා.

“ඔහෙ තියෙනවා… වැඦබෙනවා… ගාටනවා… ඇත්තටම නරක නෑ අයියා!”

“දැන් ගුරුවරියක් ඈ?”

“නියමයි නේද සුදුසු කමුත් රැකියත් නැතුවට වැඩිය සුදුසුකම් ඇතුව රැකියා නැතිකම?”

“එහෙම කියන්න එපා… මල්ලී කිව්වේ එන ජනවාරියේ පත්වීමක් හම්බවෙයි කියලා...”

“මාත් හිතාගෙන ඉන්නේ එහෙමයි… ඒත් කියන්ට බෑ නෙ අයියා ආන්ඩුව මොන මොන නීති දායිද කියලා… එක හොඳක් හැබැයි - දැනටම ගුරුවරියක් නොවී ගුරු විද්යාලෙට යන්ට ලැබීම”

අපි දෙන්නම ටිකක් සද්ද නැතුව හිටියා. වෙල්යායෙන් එන සුලඟ ඇඟට හරිම සනීපයි. පසු ගිය දවස් කීපෙම කළා වගේ මෙහෙම කමිසයක් නැතුව ඉස්සරහ සාලේ හාන්සි පුටුවේ ඇලවෙලා උදේ තේ බීමට මට ලේසියෙන්ම ඇබ්බැහි වෙන්න පුළුවන් වෙයි කියලා හිතුනා.

“අයියා කමුද? මුංඇට කිරිබත් තියෙනවා… රෝස්පානුත් තියෙනවා - පොල් සම්බල් එක්ක. දැන් දහයත් පහුවෙලා”

……………………………

උදේ වරුවෙම කඩ සාප්පු කීපයකින් ගෙදරට අවශ්ය බඩුත් අරගෙන එනකොට දවල් දොලහ පහුවෙලා. මම බලාපොරොත්තුවුනේ ගෙනා බඩු අස් කරලා, දවල්ට මොකවත් කාලා රෙදි සෝදන්න කියලා. නමුත් ඒ එකක්වත් හිතපු විදිහට කෙරුනෙ නෑ. නීලා මා එනතුරු බලාගෙන හිටියා.

“තවත් එක්කෙනෙක් ඉන්නවා - සිඩ්නි වල!”

මට රෙදි සේදීමයි නින්දයි අමතකවුනා.

“කවුද?”

“සුරාජ් මෙන්ඩිස් කියලා මිනිහෙක්. ස්ටුඩන්ට් කෙනෙක් නෙවෙයි; මෙහෙ රස්සාවක් කරන එන්ජිනියර් කෙනෙක්”

“එහෙනං කොහොමද යුනිවර්සිටි නෝටිස්බෝඩ් දැක්කේ?”

“ඒක තව කතාවක්... ලලිත් තව ෆ්ලැට් එකට ගියෙත් නෑ නේද? පස්සේ කතා කරනවද, මගෙ ෆ්ලැට් එකට ඇවිත් තේ එකක් බොනවද?”

“තේ එකක් තිබුනොත් නම් නියමයි. හැබැයි මං උඩට ගිහින් මේ බඩු ටික එහෙම තියලා එන්නද?”

“රයිට්!”

මම මග් බඩුත් උස්සගෙන පඩිපෙලේ උඩට දිව්වේ ‘තවත් එකෙක්!’ යයි හිතමින්. සමහරවිට අපි හිතපු තරම් තනිවෙලා නැතුව ඇති.

“සුරාජ් මෙන්ඩිස්ගෙ වයස පනස් හතරයි. 1956 මෙහෙ ආවේ ලංකාවේ වැඩකරපු කොන්සල්ටන්ට් කෙනෙක්ගෙ මාර්ගෙන්. මෙහෙන් කසාදත් බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මං හිතන්නේ ලංකාවත් එක්ක වැඩි සම්බන්ධයක් දැන් නෑ…”

“දිග ෆැක්ස් එකක් වගේ ඔය සේරම ලියන්න… කොහොමද මිනිහා ඔයාගෙ නෝටිස් එක දැක්කේ?”

“ඒ අය ඉන්නේ කිංස්ෆඩ් - නිව් සවුත් වේල්ස් යුනිවසිටි එක ලඟ. ලොකු දුව එන අවුරුද්දේ ඒ යුනිවසිටි එකට යන්න ඉන්නේ… මිස්ට මෙන්ඩිස් යූනියන් බිල්ඩිමට ගිහින්… ඇයි ගියේ කිව්වෙ නෑ… එතකොට දැක්කා අපෙ නෝටිස් එක!”

මේයා දැනට ඉන්න සරණාගතයෝ තුන්දෙනාට වඩා වෙනස්. මම හිතලා තිබුනෙ නෑ එහෙම කෙනෙක් හමුවෙයි කියලා.

“අපි වගේ නෙවෙයි නේද මිනිහා… ආපහු ලංකාවේ යන කෙනෙක් නෙවෙයි. සමහරවිට ලංකාවක් ඇතත් නැතත් ගණනක් නැතුව ඇති!”

“එහෙනම් ඇයි නෝටිස් එක කියෙව්වේ? ඇයි ෆැක්ස් එකක් එව්වේ?”

“ඇත්ත තමා… සමහරවිට අපෙ සරණාගත නඩේ ගුරා වෙන්න පුළුවන් මිනිහට! රස්සාවකුත් තියෙනවා, පවුලකුත් ඉන්නවා…”

නීලා බිම බලාගෙන හිටියා ටිකක් වෙලා.

“ඔයා කියන්නේ එයා ඇත්තටම සරණාගතයෙක් නෙවෙයි කියලා නේද?”

ඒ සැරේ අපි දෙන්නම සද්ද නැතුව තේ බිව්වා. මම පසුගිය දවස් කීපයේ හිතට නැගුන තවත් අදහසක් නීලට කියන්න පෙළඹුනා.

“නීලා… ඔය තිලකා පීරිස් ගැන ඉස්සරවෙලාම ඇහුනම මට හිතුනේ අපි වගේ සරණාගතයෝ ඇත්තේ බොහෝම පොඩි ගානක් කියලා - යුනිවසිටි අය ගැන බලලා. නමුත් ඒ වගේ සිය දහස් ගණනක් ඇති නේ මයිග්රන්ට්ස්, වැඩිපුරම ලංසි අය. මම මතකයි මාත් එක්ක එක පංතියේ හිටපු ලංසි කීප දෙනෙක් ඔස්ට්රේලියාවේ ආවා… දැන් ඔය සුරාජ් මෙන්ඩිස්ලා වගේ අය බැලුවොත් ප්රොෆෙශනල්ස් කී දෙනෙක් මෙහෙ එන්න ඇතිද?... ලාංකිකයෝ අපි හිතපු තරම් හිඟ නෑ මෙහෙ… නෑ… නෑ… ඒක වැරදි… ඒ අයගෙන් කී දෙනෙක් හදිස්සියේ නැතිවෙලා ගියාද, ඔයාගෙ ෆ්රෙන්ඩ් සනත් වගේ…?” නීලා සිතිවිල්ලේ බිම බලාගෙන හිටියා, විනාඩියක්.

“එහෙම හිතලා මොකවත් නොකර ඉන්න බෑ ලලිත්. තව ‘පරණ’ ලාංකිකයෝ දහදාහක් හදිසියේ අතුරුදහන් වෙලා බව දැනගත්තා කියලා අපෙවත් තිලකගෙ වත් කරදර අඩු වෙන්නෙ නෑ… අපිට ඒ ගැන කිසි දෙයක් නොකර ඉන්නත් බෑ… මට නම්…”

“නෑ… නීලා. මම කියන්නේ අපි මේ කරන වැඩ අතෑරලා අළුත් ජීවිතේකට… ලංකාව නැති අළුත් ජීවිතේකට… පුරුදුවෙන්න කියලා නෙවෙයි. තිලකා පීරිස් වගේ අයට අපි උදව් කරන්න ඕනෑ… හැබැයි ඒක මහා ලොකු ප්රශ්නෙක පොඩි කොටසක් හැටියට පිළිගන්න වටිනවා… ලොකු ප්රශ්නේ අමතක කරලා පොඩි ප්රශ්නේ විතරක් විසඳන්න බෑ, මං හිතන්නේ”

ආයෙත් පොඩි නිහඬතාවයක්. මං හිතන්නේ නීලා මගේ වචන විග්රහ කරනවා ඇති… මනෝ විද්යව අනුව. සමහරවිට මට ඇත්තටම පිස්සුද නැත්තම් නිකමට පිස්සෙක් වගේ කියවනවද කියලා තීරණයක් ගන්න වෙන්න ඇති. නැත්නම් මම අද රෑ තිලකා පීරිස්ට කතා කිරීමෙන් අයින්වෙන්න ඕන වෙලාද කියලත් හිතනවා ඇති. නීලා ඒ විදිහට හිතන එක නවත්තන්න මම ඉක්මනට යෝජනාවක් ගෙනාවා.

“අද හතට තිලකටත් කතා කරලා බලමුද? එයා ලඟත් හොඳ අදහස් ඇති!”

“රයිට්… හතට කොමන් රූම් ෆෝන් එකේ?”

……………………………

“මුංඇට කිරිබත් කාපු කාලයක් මතක නෑ… නෑ ඒක බොරු! මට හොඳට මතකයි අංතිමට මුං කිරිබත් කාපු දවස - මම මෙහෙන් ගිය දවසේ උදේ; අවුරුදු හතරකට ඉස්සර”

“එහෙදී මොනවද කෑවේ… ඔය පොත්වල තියෙන විදිහට බේකන් එහෙමද?”

“පිස්සුද? ඉඳලා හිටලා තමා උණු උණු කෑම කෑවේ… නැත්නම් ටෝස්ට් කරපු පාන්… කිරිත් එක්ක කෝන්ෆ්ලේක්ස් වගේ සීරියල් ටිකක්… තේ. හැමදාම එහෙමයි!”

“මං කවදාවත් ඔය කෝන්ෆ්ලේක්ස් කාලා නෑ - ඒවා මොන වගේද?”

“හරියට ටෝස්ට් කරපු කාඩ්බෝඩ් වගේ…”

“ෆිල්ම් වල මම එහෙනම් දැකලා තියෙන්නේ පොඩ්ඩෝ රස කරකර ඒවා කනවා?”

“උන්ට පුරුදු කෑම නේ - අපි ආප්ප කනවා වගේ… මට කෑම ගැන ඒහැටි ගානක් නෑ නංගී, තියෙන බම්බුවක් කනවා”

“හැබැයි අම්මට ඇහෙන්ට කියන්ට එපා - අද රෑට පොලොස් ඇඹුලකුත් හදන්ට ඉන්නේ - ‘අනේ ලොකු පුතා ආස ඇතිනේ’ කියලා! මල්ලී කිව්වා දවල්ට කන්න තෝසේ ගේනවා කියලා”

දැන් කෑම ගැන වැඩිය නොහිතන මට මතකයි ඒ දවස්වල එක එක කෑම වලට තිබුන ආසාව. නුවර බස් නැවතුම්පොලේ රතු ‘පැණි වළලු’ කන්න මම කොච්චර ආසාවෙන් හිටියද - එක සැරයක් රස බලනකම්! සරුවත්, බොම්බිලි කරවල, කිතුල් තලප… ඒ කාලේ ආශා කළ සිටි මේ වගේ කෑම බීම ඇතත් නැතත් මට දැන් ප්රශ්නයක් නෑ. නමුත් ලැබෙන ඕනම කෑමක් රස විඳින්නත්, කිසිම කෑමක වැරද්දක් නොදකින්නත් මම ඉගෙන ගත්තේ රට ගිය අළුතමයි.

“නංගිට කොහෙවත් යන්න තියෙනවද?”

“මං හිතුවේ අර මම උදව්කරන පෙරපාසැලට ගිහින් එන්ට. දවල්ට උයන්ටත් නෑ නේ. ඇයි අයියත් එන්නෙ නැත්තේ? සමහරවිට අයියට මතකත් ඇති ඒක අයිති මගෙ යාළුවා ජීවනී …”

“නෑ නංගී… දවස් කීපයක්ම ගියත් මම තවම බෑග් එහෙම අස් කරලත් නෑ. සෝදන්න තියෙන ඇඳුම් වෙන් කරන්නත් ඕන. අනික… වෙලා තිබුනොත් අම්මලා එන්න ඉස්සර තව විනාඩි විස්සක් නිදා ගත්තොත් හොඳයි! හවස ආයෙ මල්ලිත් එක්ක ගිහින් නාන්න ඕනෑ… වැඩ සීයයි!”

“ඊට වැඩිය ලේසි නැද්ද ‘මට කම්මැලියි’ කිව්වනම්?”

………………………….

පළමුවෙන්ම තිලකට කතාකරේ නීලා. පොදු කාමරේ ටෙලිෆෝන් එක දෙපැත්තේ වාඩිවී සිටි අපි දෙදෙනා හැර වෙන කිසි කෙනෙක් කාමරේ හිටියි නෑ.

“හලෝ තිලකා… මේ නීලා, බ්රිස්බන් ඉඳන්. මාත් එක්ක මෙතන් ඉන්නවා ලලිත් මීගස්තැන්න. අපි හිතුවේ ඉස්සරවෙලාම අපි දෙන්නා ගැන යමක් කියන්න. කැමතිනම් ඔයත් හැඳින්වීමක් දෙන්න ඊට පස්සේ”

මම තිලකා කිවූ දේ ඇහුනෙ නෑ. නමුත් නීලා එයා ගැන කෙටි විස්තරයක් දුන්නා. ඊට පස්සේ මට කතා කරන්න ආරාධනා කළා.

“හලෝ තිලකා. මම ලලිත්; බ්රිස්බන් ඉන්න ලාංකිකයෝ දෙන්නගෙන් එකෙක්…”

මම මගේ කෙටි විස්තරෙන් පස්සේ තිලකට කතා කරන්නධනාකළේ මේ වචනෙන්.

“නීලා තමා අපි ගැන තොරතුරු ගොනු කරන්නේ… තිලකා ගැන ටිකක් එයාට කිව්වනම් හොඳයි. මගෙ මතකේ නීලගෙ තරම් හොඳ නෑ”

එතෙනදී පොඩි හිනාවක් ඇහුනා. නමුත් කිසි දෙයක් නොකියා මම ටෙලිෆෝන් එක නීලට දුන්නා. අපි මුළින්ම තීරණය කළ හැටියට බ්රිස්බන් පැත්තෙන් වැඩියම කතාකළේ නීලා; මම එතන නැවතිලා හිටියේ ප්රශ්නයක් ආවොත් උත්තර දෙන්න විතරයි. කතා කරන මාතෘකා ලැස්තුවක් පාවිච්චිවුන නිසා මම මේ සැලස්මේ වැරැද්දක් දැක්කෙ නෑ.

මා සහභාගි නොවන සිංහල සාකච්ඡාවක් අහගෙන ඉන්න මට මතක්වුනේ නංගියි මල්ලියි. මම කිසි දෙයක් කිව්වත් නැතත් ඒ දෙන්නා දිගටම කතා කිරීම සාමාන්ය දෙයක්.